Tuesday, May 15, 2018

මහබඹාට මුහුණු දෙකයි.


අප අතරින් කලකට පෙර වියෝවූ සුප්‍රකට නළුවෙක් වන ජෝ අබේවික්‍රම හෙවත් ජෝ මහත්තයා නළුවෙකු මතු නොවැ හොඳ ගැමියෙක් වගේම රසවතෙකි.  ජෝ මහත්තයා විසින් ලියන ලද මහබඹාට මුහුණු දෙකයි නවකතාව ඔහු අතින් ලියැවුණු එකම පොතවේ.  මේ පොතෙන් කියැවෙන්නේ රත්නපුර ලෙල්ලෝපිටිය නම් ග්‍රාමයේ ජීවත්වූ ගැටවරයෙකුගේ කතාවයි.  කාලය දෙවැනි ලෝක යුද්ධයට පෙර සමයයි.

පොත ලියැවෙන්නේ ජෝ මහත්තයා නළුවෙක් ලෙස සිය ජීවිතයේ ස්වර්ණමය යුගය ගතකරන කාලයේදීයි.  ගමක ජීවත්වන තරුණයෙකු අත්දකින ආදරය, විරහව, අහිමිවීම ආදිය මැනැවින් වටහාගෙන ලියැවී ඇති මේ පොතෙන් ගැමි සුවඳ මනා ලෙස වහනය වන බව අපට දැකගත හැකියි.

1972 දී පුබුදු පොතක් ලෙස පළමුවරට එළි දුටු මෙම පොතේ දෙවැනි මුද්‍රණය 1998 දී දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශයට පත්විය.  මම අද ඔබට කියන්නට යන්නේ ජෝ මහත්තයාගේ මහබඹාට මුහුණු දෙකයි පොතේ 6 වන පරිච්ඡේදයයි.

                                                        6
ගලගම අලියා ගැන ඇසු විට පවා ඇඟ හිරිවැටෙන තරමට අලියා පිලිබඳ ත්‍රාසජනක කතා ගම පුරා පැතිරී තිබිණි.  මේ අලියා ඇත් ගොව්වන් හතර දෙනෙකු ඇතුළු මිනිසුන් අට දෙනෙකු පාගා මරා දැමු මිනීමරු අලියෙකි.  අන්තිමට ගලගම අලියා රැක බලා ගත් තෙලේනිස් ඇත්ගොව්වා අලියා අතින් මරුමුවට පත්වූ පසු අලියා ගෙනැවිත් පරණවත්තේ ඇටඹ ගහේ බැඳ දමන ලදී.  අලියා මෙල්ල කරගෙන විත් ඇටඹ ගහේ බඳින ලද්දේ ඉතා අමාරුවෙනි.  කදිර නන්දනයා හා තවත් අලියෙකු ගේද ආධාර ඇතිව ගලගමයා මෙසේ බැඳ දැමු නමුත් ඌ දිගටම පෙරළි කරන්නට විය.

එදා මුළු ගමේ හැම ගෙදරකම කතාව වුයේ ගලගම අලියාගේ සිද්ධිය ගැනය.  බොහෝ දෙනෙක් ගලගම අලියා බැලීමට පරණවත්තට පැමිණියහ.  එය මුළු ගම පුරා ම ත්‍රාසයත් භීතියත් ඇතිකළ දිනයක් විය.  ගම පුරා පැතිරී තිබු මේ ත්‍රාසයෙන් විනෝදයක් ලැබීමට කස පුසානා සහ පචයා සැලැස්මක් සාදා ඇත.

අඳුර පැතිරී රෑ බෝවෙමින් තිබිණි.

" ගලගම අලියා කඩාගෙන එනවෝ" යැයි මහ හඬින් කෑ ගසමින් කස පුසානා ගම දෙවනත් කරගෙන දිව්වේය.  ධර්මදාස ගේ කඩේ තබා තිබු මිණිගෙඩි දෙක සොලවමින් පචයා ඔහු පසු පස්සේ දිව්වේය.  මේ හඬින් ගැමියන් කෙතරම් බියපත් වීද යත් මේ විහිළුව පහුවනදා වනවිට බොහෝ දුරදිග ගොස් තුබූ බව පෙනිණි.

පොඩිරත්න මැණිකේ ගේ මුහුණේ පියකරු භාවය දවසින් දවස වැඩිවෙයි.  දැන් ඇය පාසලේ පහනක් මෙන් බැබළෙයි.  ඈ පිළිබඳව මා තුළ පවතින ළෙන්ගතුකම ද දවසින් දවස ලියලනු මට දැනෙයි.  ඇතැම් දිනකදී ඇගේ මුහුණ දෙස ඇසිපිය නොහෙළා විනාඩි කීපයක් මම බලා සිටිමි.  ඇගේ දෑසේ කාන්තියද දැන් තියුණු වී ඇත.  ඇය සිනාසෙන විට පෙරටද වඩා වැඩි පින් පාටක් මුහුණට එක්වෙයි.

" ඊයෙ කවුද අර ගලගම අලියා කඩාගෙන එනවෝ කියලා ගම මැද්දෙන් කෑ ගහගෙන දිව්වේ?" පාසල පටන් ගන්නට පෙර පොඩිරත්න මගෙන් ඇසුවාය.

" පොඩිරත්න හිතුවද මම කියලා?"

" නෑ - ඒක තමයි විශේෂයෙන් ම කවුද කියල දැනගන්න ඇහැව්වෙ?"

" කසපුසානයි පචයයි - පචයා මිණිගෙඩිය හොල්ල ගෙන පස්සෙන් දුවල තියෙනවා.  කසපුසානා " අලියා කඩාගෙන එනවා" කියල ඉස්සරහින් දුවල තියෙනවා" මම මා දැන සිටි අන්දමට ඇයට සිද්ධිය විස්තර කළෙමි.

" ඊයේ හරියට මිනිස්සු බයවෙලා තියෙනවා.  කවදාවත් ගහකට නැගල නැති පීල්ලගාව මාටින් සිඤ්ඤෝ් බත් කකා ඉඳල අලිය එනව කියන සද්දෙට කොස්ගහකට නැගලලු.  බවලත් අය දොරවල් වහගෙන ගේ ඇතුළෙ ළමයි තුරුලු කරගෙන විලාප ගහල තියෙනවා"

" මම දන්නව නම් කසපුසානාට ඕක කරන්න දෙන්නෙ නෑ" මම බොරුවක් ගෙතුවෙමි.

" සුට්ටිං ටිකක් හොඳවේගන එනකොට ගෝලයො අන්තිමට නරක් වෙනවා"

" මම මේ දෙන්නම හම්බු වෙනකන් ඉන්නෙ, බනින්න"

" හුඟ දෙනෙක් හිතන්නෙ සුට්ටිං තමයි මේවා කරන්නෙ කියල"

ඈ පිළිබඳව මා හැඩ තුළ පවතින ළෙන්ගතුකම වැඩිවත්ම ඒ ළෙන්ගතුකම විසින් මගේ හැඩිදැඩි හැඟුම් ලිහිල් කරන සෙයක් මට දැනෙයි.  මගේ සිතෙහි උපදින ඒ ළෙන්ගතු බව මටම සිසිල සදන සීතල සෙවණක් වැන්න.  මම ඇය කෙරෙහි පැතිරී ගිය මහත් වූ දයාවකින් ජීවත්වීමි.  එය මට කිසියම් අස්වැසිල්ලක් ද සුවයක් ද මුසු පරමානන්දනීය හැඟුමක් ජීවිතයට එක්කරන්නකි.  ඇය එදා මල්වට්ටිය බුදු හිමිගේ සිරිපතුල ළඟ තැබුවේ මා වෙනුවෙන් කළ උදාර පැතුමක් ඇතිවද?  මා ඒ ගැන විමසුවිට ඇය මා හද විනිවිද යන සිනහවක් පා ආදරය දැල්වෙන දෑසින් මා දෙස මොහොතක් බලා උන්නාය.

මට ම නොදැනුවත්ව ම මගේ ජීවිතය කිසියම් ග්‍රහණයකට අසුවෙයි.  මා දැඩිව බැඳී වෙළී යන ඒ රැහැන්පට තදවන්නට තදවන්නට මට දැනෙන්නේ සුවදායක හැගීමකි. 

ගමේ ඉස්කෝලේ ඉගෙනීම නවත්වන්නට අපට සිදුවුයේ මේ කාලයේදීය.  පාසලේ පන්ති තිබුණේ අටවැන්න දක්වා පමණි.  වැඩිදුර අධ්‍යාපනය ලැබීමට කැමති ළමයින් රත්නපුරේ ඉංග්‍රීසි පාසලට යායුතු විය.  ළමෝ වැඩි දෙනෙක් ගමේ පාසලෙන්ම අධ්‍යාපනය නතර කළ හ.  මා ද ගමේ පාසලෙන්ම අධ්‍යාපනය නතර කිරීමට කැමැත්තක් දැක්වුවත් අයියාගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.  මා කෙසේ හෝ ටවුමේ ඉංග්‍රීසි පාසලට යායුතු යැයි අයියා කියා සිටියේය.  මා ඊට දැක්වූ අකමැත්ත ට වඩා අයියාගේ බලකිරීම විශාල විය.

පොඩිරත්න මැණිකේ ගේ අධ්‍යාපනය ගමේ පාසලෙන් නතර විය.  පොඩිරත්න ගේ පමණක් නොව ගැහැණු ළමයින් හැම දෙනාගේම පාහේ අධ්‍යාපනය ගමේ පාසලෙන් නතර විය.  අපේ කණ්ඩායමෙන් ටවුමේ පාසලට ඇතුළත් වුයේ මා සහ හීන් නිලමේ පමණය.

ගමේ පාසලෙන් අප වෙන් වූ දිනය ඉතාම දුක්බර දිනයක් විය.  අපට ඉගැන්වූ සියලුම ගුරුවරුන් වෙත ගොස් දෝතින් බුලත් හුරුළු පිළිගන්වා දෙපා අල්ලා වැන්දෙමු.  අප පාසලින් ඉවත්වී යන මොහොත මෙතරම් දුක්බර වේයැයි කිසිම අවස්ථාවක මම නොසිතුවෙමි.

මා ලොකු මහතාගේ දෙපා ළඟ වැටී සමුගන්නා විට ලොකු මහතා දෑස් කඳුළු පුරවාගෙන හැඬුවේය.

" ළමයිනි මම උඹලට ගැහුව නම් ගැහුවෙ උඹලගෙ ම හොඳටයි.  නැතිනම් අකරුණාවෙන් නොවෙයි.  වෙන ඉස්කෝලෙකට ගියත් හොඳින් ඉගෙනීම කරන්න ඕනෑ" ලොකු මහතා කීය.

මේ පංති කාමර තුළ ගතකළ සමනළ ජීවිතය යළිත් කිසිදිනක අප කරා එළඹෙන්නේ නැත.  අමනාපයකට හිත් නොහොඳවීම් ප්‍රශ්න ආදිය අතරින් අපි මේ සුන්දර මල් ලෝකයේ මෙතෙක් පියාසර කළෙමු.  අද ඒ යුගය සුන්දර සිහිනයක් මෙන් මැකී යයි.

මා මල්ලිකාආරච්චි ලඟට යන්නට පෙර ඔහු මා අසලට ආවේය.  ඔහු පැමිණ මොහොතක් මා දෙස බලා උන්නේය.  ඒ මොහොත හැඟීම් සිය දහස් ගණනක් ක්ෂණයකින් ඇති කළ මොහොතකි.  ඉන් පසු ඔහු උරහිස වටා අත යවා මා වැලඳ ගත්තේය.  ඔහුගේ දෑස කඳුලින් තෙත් වී ඇති බව මා දැනගත්තේ මල්ලිකාආරච්චි මා ඉදිරියේ සිට ගත් පසුයි.

එය ඉතා හැගීම් බහුල මොහොතක් විය.

" මාත් එක්ක තරහක් ඇතිකරගන්න එපා"

ඔහු සෙමෙන් කීවේය.

මා කිසිවක් නො දොඩා ඔහුගේ මුහුණ බලා උන් බව මතකය.  ඒ මොහොතේ කුමක් කිව යුතුදැ යි නිශ්චය කරගැනීම පවා දුෂ්කරය.  හැඟීම් බහුල චිත්ත ආකල්පය නිසා පොඩිරත්න මැණිකේ මුණගැසීමටත් මා වැළකීමෙන් සිටිය ද මයියොක්කා කොරටුව ඇගේ දෑස කෙළින්ම මගේ දෑස හා පැටලිණි.  අවට නිහඬය.  අප තනිවී සිටින බවක් දැනිණි.

කිවයුතු වචන රාශියක් මගේ දිවගට එයි.  එහෙත් කට අරින්නට තැත් කිරීමේදී සියල්ල අගුළු වැටී සිරවී ඇතුවාක් මෙන් මට දැනෙයි.  සිත හැඟුම්වලින් පිරෙයි.  දුක මහා මේරු පර්වතයේ බර සේ සිතට දැනෙයි.

" අපි ආපහු කවදාවත් ඉස්කෝලේ පන්තියේදී මුණ ගැහෙන්නෙ නෑ.  අද අපි ඉස්කෝලෙදි මුණ ගැහෙන අන්තිම දවස" මගේ වචන පිටවුයේ සිහින් හඬිනි.  පොඩිරත්න මැණිකේ ගේ දෑසට ගුළි වී තිබු කඳුළු කැට කීපය කම්මුල මත වැටිණි.

" අනේ ඉතින් අපට කොහෙද ටවුන් ඉස්කෝලවල ගිහින් ඉගෙන ගන්න පිනක්.  ටවුමෙ ඉස්කෝලෙට ගියාම මාව මතක නැති කරන්න එපා"

ඇය වචනයක් පාසා ඉකිබින්දාය.  මම ඇගේ සුරත වැළඳ ගත්තෙමි.  එය මා ජීවිතයේ මුහුණ පෑ කිනම් අන්දමේ අවස්ථාවක්  ද ?  යොවුන් විය සංකේතවත් කරන පහන් දැල්ලක් බඳු වූ පොඩිරත්න ගේ සිරුර ජීවිතයේ මුල්වරට ස්පර්ශ කළ අවස්ථාව එය විය.  දෝමනස්ස සහගත සිතිවිලි වලියෙන් වෙළී ගිය ඒ මොහොතේ කඳුළු රේඛා අතරින් අපි ඔවුනොවුන්ගෙන් සමු ගතිමු.  අප මයියොක්කා කොරටුව අසලින් මෑත් වන විට මල්ලිකාආරච්චි අප පසුකර ගමන් කළේය.

ගමේ පාසලෙන් වෙන් ව රත්නපුර ටවුමේ ඉංග්‍රීසි පාසලට ගිය මුල් දින කීපය තුළ සිතෙහි ඇති වූ සාංකාව හා පාළුව වැනි හැඟීම මා තුනී කර ගත්තේ හීන් නිලමේ ද මා සමග එකම පන්තියේ සිටි නිසාය.  නැතිනම් මුල් දින දෙක තුළ පවතින ප්‍රථම සාංකාව නිසා ටවුමේ පාසලට යන ගමන අත් හැරෙන්නට ඉඩ තිබිණි.

රෙද්දෙන් හා බැනියමෙන් මිදී කොට කලිසමින් හා කමිසයෙන් සැරසී සෝන් පැන ද අලුත් පත පොත ද අතැති ව ඇරඹි ටවුමේ පාසලේ ජීවිතය ගමේ පාසැල් ජීවිතයට වඩා විශාල වෙනසකින් යුක්ත වුවකි.  ළමයින් ගේ හැසිරීම කතාබහ මෙන්ම ජීවන රටාව ද ගමේ පාසලට වඩා බෙහෙවින් වෙනස්ව පැවතිණ. 

මා පාසැල් යාම් ඊම් කළේ බස් රථයෙනි.  ටවුමෙන් ගෙන්වා ගත යුතු කිසියම් දෙයක් ඇතොත් බොහෝ දෙනා ඒ කාර්යය පැවරුවේ මට ය.  ගම් වැසියන්ට ටවුමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය ව තුබූ නොයෙකුත් උපකරණ මම මහත් ඕනෑකමින් ගෙනැවිත් දුනිමි.  ඒ නිසාම ඔවුහු මා කෙරෙහි මහත් ආදරයක් ඇතිව සිටියහ.

පාසල පිහිටා තිබුණේ කළු ගඟේ එගොඩ ඉවුරේ තරමක් උඩහට වෙන්නටය.  ගඟට කෙතරම් ආසන්නව පාසල පිහිටා තිබුණේද යත් පාසලේ උඩ සොල්දරයේ සිට කඩදාසි ඊතල සාදා වීසි කළ විට ඒවා කළු ගඟට වැටී පාවී යයි.

පාසලට ඇතුළුවන දොරටුව අසල ටොපි කඩල ආදිය විකුණන වෙළෙන්දෝ සිටිති.  ප්‍රධානාචාර්ය වරයා පාසලට ආවේ දිළිසෙන පිත්තල කාබයිට් ලාම්පු සවිකළ ක්ලච් පෝඩ් කාර් එකෙනි.  ඇතැම් ළමයි කයිස්ලර් රථවලින් ආහ.  ඔවුහු ජැන්ඩියට ඇඳ පැළඳගෙන පැමිණියහ.  ගුරුවරු සියලු දෙනාම කලිසම් කෝට් හැඳ ටයි පටි පැළඳ සිටියහ.  සිංහල පාඩම කියා දුන්නේ සතියකට දෙවරක් පමණි.  සිංහල පාඩම හා බුද්ධාගම උගැන්වීමට වෙරළුපේ හාමුදුරුවෝ පැමිණියහ.  සමහර ළමෝ තිරික්කල වලින් පාසලට පැමිණියහ.  ඇස්. ඇස්. සී වැනි ඉහළ පන්තිවල ළමෝ කලිසම් කෝට්වලින් සැරසී පන්තියට ආහ.

ටවුමේ පාසලට යන්නට පටන් ගැනීමෙන් පසු පොඩිරත්න මැණිකේ මට යළි මුණ ගැසුණේ එසේ යන්නට පටන් ගත් තුන්වැනි දවසේය.  එදින සවස ඇය බිබිල අසලදී මට මුණ ගැසිණි.

" අලුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ දැන් දකින්නත් අමාරුයි.  කොහොමද ඉස්කෝලේ හොඳද?" ඇය වතුර පනිට්ටුව නා මල් ගස යට තබා ඇසුවාය.

" වරදක් නෑ.  ඒත් මගෙ නම් එච්චර හිතට ඇල්ලුවෙ නෑ.  එහේ උදේට වතුවැඩත් නෑ.  පන්ති කාමර අස්කරන්න, තීන්ත ටික වක්කරන්න වැඩකාරයෝ ඉන්නවා.  අපට තියෙන්නේ ගිහින් වාඩිවෙලා පාඩම් බලන එක විතරයි"

" ඉතින් විවේක කාලෙදි මොකද කරන්නේ"

" අනික් ළමයි නම් බෝල ගහනවා.  නිලමෙයි මායි ගඟ අයිනට වෙලා බලා ඉන්නවා"

" ගෑනු ළමයිත් එනවද ටවුමෙ ඉස්කෝලෙට"

" ඔව් "

මොහොතක නිහඬතාවකට පසු ඇය මෙසේ කීවාය.

" එහෙම නැතිව බෑ නොවැ ඉංග්‍රීසි ඉස්කෝලෙනේ"

තවත් මොහොතක නිහඬතාවක් ඇති විය.

" අපිව මතක් වෙනවද පන්තියෙදි?" ඇය මා දෙස බලා සිටින්නේ කිසියම් ශෝකයකින් වැලපෙන දෑස යොමාද?

" පන්තියේදී විතරක් නෙමෙයි. හැම තිස්සෙම"

" මගෙ හිතට දුකයි"

" ඒ ඇයි?"

" මට ඒක විස්තර කරලා කියන්න බෑ.  සුට්ටිං ගැන හැම තිස්සෙම හුඟක් හිතනවා. මම සුට්ටිංට  ආදරෙයි"

ආදරය මතුකරන රසය මෙතරම් හැඟීම් බහුල එකක් වන්නේ ඇයි? ඇය පනිට්ටුව රැගෙන යන්නට සැරසී මා දෙස වරක් බැලුවාය.

" ටවුමෙ ඉස්කෝලෙට ගියාට මාව මතක නැති කරන්න එපා" ඇගේ වචන රැඳුනේ දෙසවනේ නොව හද පත්ලේය.

( මහ බඹාට මුහුණු දෙකයි, ජෝ අබේවික්‍රම. 1998. ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම)